ලංකාවට ඇදහැලුනු රතු වැස්ස පිටසක්වල ප්‍රහාරයක්ද ?

සෙවනගල,මොනරාගල සහ මනම්පිටිය ප්‍රදේශවලටත් ඇදහැලුනු රතු වැස්ස පිටසක්වල ප්‍රහාරයක් වීමට ඉඩකඩ පවතින බව ඉන්දීය විද්‍යාඥයින් අදහස් පලකර සිටී. මෙය සත්‍ය වශයෙන්ම පිටසක්වල ජීවී ප්‍රහාරයක්ද නැතිනම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්සක්දැයි සොයා බැලීමට වෛද්‍ය පර්යේෂන ආයතනය පරීක්ෂණ අරඹා ඇත. ජලයේ ඇති රතුපැහැති ඇල්ගී ජල වාෂ්ප සමඟ මුසුවී ඉහල අහසට යෑම, පරිසරයේ ඇති දූවිලි වාතයට එක්වීම වැනි හේතු මත මෙවැනි වැසි ඇතිවිය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි.

ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජය ගනී !

ශ්‍රී ලංකාවේ ප්‍රථම පණිවුඩ හුවමාරු චන්ද්‍රිකාව 2012.11.22 දින පෙරවරු 3.43ට එළැඹෙන සුබ මොහොතින් චීනයේ සී චැන්ග් හි සිට ගුවන් ගත කිරීමට නියමිතව ඇති බවත් එය මෙරට විද්‍යා හා තාක්ෂණ ඉතිහාසයේ ඓතිහාසික මොහොතක් වනු ඇති බවත් ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කරයි. මෙම චන්ද්‍රිකාව නිපදවීමට මූල්‍ය දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලංකාවේ සුප්‍රීම් සැට් ආයතනය ඉදිරි වසර කිහිපය ඇතුළත තවත් චන්ද්‍රිකා 2ක් ගුවන්ගත කිරීමට සැලසුම් කර ඇති බවත් පල්‍ලේකැ‍ලේ ප්‍රදේශයේ විශේෂ චන්ද්‍රිකා මෙහෙයුම් මධ්‍යස්ථානයක් හා පුහුණු ආයතනයක් ගොඩනැගීමට පියවර ගෙන ඇති බවත් කොළඹ ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේදී 2012.11.20 පැවැති මාධ්‍ය හමුවේදී තිස්ස විතාරණ මහතා පැවැසීය. “සුප්‍රීම් සැට් 1” ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රිකාව චීනයේ ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රි කෝපර්රේෂන් ආයතනය මගින් නිපදවා ඇත. සන්නිවේදන චන්ද්‍රිකාවක් වන මෙම සුප්‍රීම් සැට් වන් චන්ද්‍රීකාව සඳහා සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම විසින් ආයෝජනය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 320කි. මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ඉහළින් අහසේ අංශක 87.5ක් නැගෙනහිරට වන්නට කක්ෂගත කිරීමට සැලසුම් කර ඇති බවත් මෙමගින් මෙරටට අවශ්‍ය සන්නිවේදන අවශ්‍යතා රැසක් සපුරා ගැනීමට අරමුණු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. විශේෂයෙන්ම රූපවාහිනී, ජංගම දුරකථන හා අන්තර්ජාල කටයුතුවලට අවශ්‍ය ඩිජිටල් සේවාවන් මෙම චන්ද්‍රිකාව හරහා ඉතා පහසුවෙන් හා ලාභ දායී ලෙස ලබාගත හැකි වන බවත් මේ තුළින් ශ්‍රී ලංකාව අභ්‍යවකාශ යුගයකට පියවර තබන බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළේය. මේ චන්ද්‍රිකාව ඔස්සේ විදේශ රටවලටද සේවාවන් ලබාදී එමගින් විදේශ විනිමය ඉපැයීමටද ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබෙන බවත් මෙරට ඇති ස්වාභාවික සම්පත් පිළිබඳ නිවැරදිව හා විධිමත් ලෙස තාක්ෂණය භාවිතා කර තොරතුරු ලබාගැනීමට මෙමගින් හැකිවන බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය. ඉදිරියේදී පල්‍ලේකැ‍ලේ පුහුණු ආයතනයේදී සහය ඇතිව අභ්‍යවකාශ තාක්ෂණ ක්‍ෂේත්‍රයේ මෙරට තුළ ප්‍රචලිත කරලීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ සුප්‍රීම් සැට් ආයතනයේ සභාපති මහිවන්නන් මහතා ප්‍රකාශ කළේ තම ආයතන දියත් කළ මෙම චන්ද්‍රිකා වැඩසටහනට රජයේ විශාල සහයක් ලැබුණු බවයි. කෙසේ වෙතත් මෙම චන්ද්‍රිකාව නිෂ්පාදනය සදහා එකදු ශ්‍රී ලාංකික විද්‍යාඥයකුගේ හෝ ඉංජිනේරුවරයෙකුගේ දායකත්වයක් ලබාදී නොමැත. චන්ද්‍රිකා තාක්ෂණයට අදාළව ශ්‍රී ලංකාව තුළ මෙතෙක් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවේ. ඒ අනුව මෙය මෙය චීනය විසින් නිෂ්පාදනය කර, චීනය විසින් නඩත්තු කරන ශ්‍රි ලාංකික චන්ද්‍රිකාවකි.