රුසියාව G8 ලෝක කාර්මික රටවල් අටේ කණ්ඩායමේ සාමාජිකත්වය අහිමි කර ගැනීමේ අවදානමකද ?



යුක්රේනයට එරෙහිව යුද වැදීමට සැරසීම මගින් රුසියාව G8 ලෝක කාර්මික රටවල් අටේ කණ්ඩායමේ සාමාජිකත්වය අහිමි කර ගැනීමේ අවදානමට මුහුණ දී සිටින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කරයි.
රුසියාවේ විදේශගත වත්කම් තහනම් කිරීමටද ඉඩ තිබෙන බවටත් ඔහු අනතුරු ඇඟවීය.
මේ අතර කීව් අගනුවර බලා පිටත්ව යාමට ප්‍රථම ප්‍රකාශයක් කළ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්, රුසියාව යුක්රේනයේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කිරීම හේතුවෙන් සෝචි නුවර පැවැත්වීමට යෝජිත G8 නායක සමුළුවට සූදානම් වීමේ ක්‍රියාවලියෙන් බ්‍රිතාන්‍යය ඉවත් වන බව කියා සිටියේය.
ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත G8 නායක සමුළුවට සූදානම් වීමේ ක්‍රියාවලියෙන් ඉවත් වන බව ප්‍රංශයද කියා සිටියේය.
ජනාධිපති ඔබාමා සහ ජනාධිපති පූටීන් සෙනසුරාදා දීර්ඝ සාකච්ඡාවක නිරත විය
ක්‍රිමියානු අර්ධද්වීපයේ රුසියානු හමුදා ක්‍රියාකාරකම් සමස්ත යුරෝපයේම ආරක්ෂාවට තර්ජනයක් බවයි, නේටෝ මහ ලේකම් ඇන්ඩර්ස් ෆෝග් රස්මුසෙන් (Anders Fogh Rasmussen) සඳහන් කළේ.
යුක්රේන අර්බුදය සම්බන්ධ නේටෝ සංවිධානයේ හදිසි රැස්වීමකට පෙරාතුව ප්‍රකාශයක් කළ ඔහු, වහාම ප්‍රදේශයේ හමුදා උණුසුම අඩු කරන මෙන් රුසියාවෙන් ඉල්ලා සිටියේය.
"රුසියාව දැන් කරමින් තිබෙන දේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්. එමගින් යුරෝපයේ සාමයට සහ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වෙනවා. තමන්ගේ සියලුම මිලිටරි ක්‍රියාදාමයන් සහ තර්ජන රුසියාව වහාම නැවැත්විය යුතුයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
1968 දී රුසියාව චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කිරීමෙන් අනතුරුව යුරෝපය මුහුණ දෙන භයානකම අර්බුදය ලෙසිනුයි එක් බටහිර රාජ්‍යතාන්ත්‍රිකයෙක් යුක්රේනයේ වාතාවරණය විග්‍රහ කළේ.
යුක්රේනයේ රුසියානු අවශ්‍යතා ආරක්ෂා කිරීමට තමන්ට අයිතියක් තිබෙන බවයි, තමන්ට එල්ල වන විවේචනවලට ප්‍රතිචාරය දක්වන රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූටීන් පවසන්නේ.