බලශක්ති අර්බුදය විසදීමට සුදුසු කාලය එළඹ ඇත

මහ දවල් පවා විදුලි බුබුළු දල්වා තබමින් අනවශ්‍ය ලෙස විදුලි බලය පරිහරණය කරන රජයේ කාර්යාල, උසස්‌ පෞද්ගලික ආයතන වැනි ස්‌ථානයන් අපි කොතෙකුත් දැක ඇත්තෙමු. ඇතැම් විට පළාත් පාලන ආයතන මඟින් නඩත්තු කෙරෙන මහා මාර්ගයන් හි සවිකර ඇති විදුලි බුබුළු පහන් රැය දවල් නොකඩවා දැල්වෙන අවස්‌ථා ද අපට බොහෝ විට දක්‌නට ලැබේ. එහෙත් රජයේ කාර්යාලයක හෝ වේවා වෙනත් ආයතනයක නැත්නම් පෞද්ගලික නිවසක හෝ වේවා විදුලි බලය මෙසේ අනවශ්‍ය ලෙස පරිහරණය කිරීමෙන් නොදැනුවත්කමින් වුවද ඔබ විසින් සිදු කරනු ලබන්නේ මුළු මහත් දිවයිනේ ම අනාගතය කෙරෙහි ඉතා අහිතකර ලෙස අයහපත් අන්දමින් බලපාන බලවත් හානියක්‌ යෑයි ඔබ මොහොතකටවත් සිතුවාද? ඇතැම් විට එය ඔබ පිළිගැනීමට පවා මැලිකමක්‌ දැක්‌වුව ද එය සැබවින්ම සත්‍යයකි. ඔබ විසින් හේතු රහිතව අපතේ හරිනු ලබන සෑම කිලෝවොට්‌ පැයක්‌ නිසාම නුදුරු අනාගතයේදී ජාතියේ ප්‍රගතියට අදාළ වන අන්දමේ නිෂ්පාදන කාර්යයන් සඳහා යොදවා ගැනීමට ඇති විදුලිබල ශක්‌තිය ක්‍රමයෙන් අඩු වී යනු ඇත. මෙම තත්ත්වය සංවර්ධනය වෙමින් පවතින රටක්‌ වන ශ්‍රී ලංකාවට පමණක්‌ නොව කාර්මික අතින් අංගසම්පූර්ණ බවට පත්වී ඇති ජපානය වැනි දියුණු රටවලට ද එක සේ බලපවත්වන බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය. විවිධ කර්මාන්ත බිහි කරමින් දියුණුවේ පෙරමඟට යන රටවලට ඒ සඳහා විශාල වශයෙන් බල ශක්‌තිය අවශ්‍ය වන බවද එම අවශ්‍යතාව වසරක්‌ පාසා වැඩිවෙමින් පවතින බවද අපි දනිමු. ලංකාවේ වර්තමාන විදුලිබල වැඩිවීමේ අවශ්‍යතාවය වාර්ෂිකව වැඩිවීමේ වේගය වාර්ෂිකව මෙ. වො. 200 කි. එහෙත් රටේ කර්මාන්ත මෙන්ම සාමාජික ජීවිතයද දියුණුවන වේගය හා සමානව විදුලි බල ශක්‌තිය ඒ හා සමානව වැඩි දියුණු නොවන්නේ නම් ලංකාවට අත් වන ඉරණම කුමක්‌ ද? අවුරුදු 13 ක්‌ තිස්‌සේ ලංකාව ඒ ශෝචනය ඉරණමට මුහුණදී ඇත. කාර්මික අතිනුත් බලශක්‌තිය අතිනුත් අපට වඩා සිය දහස්‌ ගණනකින් වැඩි දියුණු මට්‌ටමක පසුවන රටවල විදුලි බලය මනා සකසුරුවම් කමකින් යුතුව පරිහරණය කරනු ලබද්දී කාර්මික අංශයෙන් පමණක්‌ නොව බලශක්‌ති අංශයෙන් ද නොදියුණු බෙහෙවින් ම පහත් මට්‌ටමක සිටින අපේ අනාගත දියුණුවට අදාළ වන විදුලි බල ශක්‌තිය මෙසේ ප්‍රවේශමෙන් තොරව පරිහරණය කිරීමෙන් සිදු කර ගන්නේ අප විසින් අපගේ වළ කපා ගැනීමක්‌ නොවේ ද? දිවයිනේ විදුලිබල අවශ්‍යතාව වැඩි දියුණු වූ අන්දම පිළිබඳව කරුණු මනාව අවබෝධ කර ගැනීමට නම් ගත වූ පසුගිය දසක හතර තුළ ඒ පිළිබඳ විස්‌තර සොයා බැලීම යෝග්‍ය වේ. 1939 දී දිවයිනේ උපරිම විදුලි බල අවශ්‍යතාව මෙ. වො. 35 කි. (1977 මෙ. වො. 402, 1980 - මෙ. වො. 422, 1982 මෙ. වො. 522, 1985 - මෙ. වො. 949, 1986 මෙ. වො. 1065, 1990 මෙ. වො. 1208..............2007 මෙ. වො. 1758, පෞද්ගලික විදුලි බලාගාර මෙ. වො. 886). 1950 සිට 1990 දක්‌වා දශක හතරක කාලය තුළ විදුලි උත්පාදනය කිසිදු අර්බුදයකින් තොරව පවත්වාගෙන යැමට හැකි වූයේ ප්‍රමාණවත් ලෙස ජල විදුලි බලය තිබූ නිසාය. විවිධ කම්හල්, ව්‍යාපාර, නිවාස ආදිය අලුතින් බිහිවීමත් සාමාජික ජීවිතයේ එදිනෙදා අවශ්‍යතාවන් වැඩි වීමත් සමඟම වසරක්‌ පාසා ඉල්ලුම ඉහළ ගියේය. එහෙත් මෙම විදුලිබල අවශ්‍යතාව සඳහා අපේ ජල විදුලිය ශක්‌ති ප්‍රමාණය වැඩි දියුණු වූයේ බෙහෙවින් ම අඩු වේගයකිනි. ජල විදුලි උත්පාදනය කරන බලාගාරයක්‌ ඉදිකර එය ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම සඳහා අඩුම වශයෙන් වර්ෂ පහක පමණ කාලයක්‌ ගතවීමත් එය ක්‍රියාත්මක වීමෙන් පසුව වුවද ඉඩෝර කාලයන්හි දී ජලය සිඳී යැමෙන් බලාපොරොත්තු වන විදුලිය බල ශක්‌තිය නිපදවා ගැනීමට නොහැකි වීමෙන් මෙම බලශක්‌ති වර්ධනයේ වේගය හීන වීමට හේතු වූ බව සඳහන් කළ හැක. මහවැලි යෝජනා ක්‍රමයට අයත් ජලවිදුලි බලාගාරවල වැඩකටයුතු අවසන් වූ පසු එයින් ජනනය කරන ජලවිදුලිය දිවයිනේ අවශ්‍යතාවටත් වඩා වැඩිවනු ඇතැයිද ඇතැම් විට ඉන්දියාව වැනි අසල්වැසි රටවලට පවා විදුලිය සැපයීමට හැකිවනු ඇතැයි ද මතයක්‌ කලකට ඉහත ජනතාව අතර පැතිර තිබූ බව අපට තවමත් මතක තිබේ. එම බලාගාර කටයුතු නිමවන විට නිදහස්‌ වෙළෙඳ කලාප වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලැබීමෙන් පසු කර්මාන්තශාලාවල යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි බලය ප්‍රයෝජනයට ගත්තේය. එමෙන් ම වසරක්‌ පාසා විදුලි බල අවශ්‍යතාවයේ සිදු වන ක්‍රමික වැඩිවීමත් එකතු වූ විට නුදුරු අනාගතයේදී අප සතුව තිබිය හැකි බලශක්‌ති ප්‍රමාණය යන්තමින් පිරිමසා ගැනීමට පමණක්‌ සෑහුනි. විදුලි අර්බුදයේ පළමු වැනි ගැටළු සහගත තත්ත්වය ඇති වූයේ මහවැලි විදුලි බලාගාරය නිර්මාණය කරන අවස්‌ථාවේ දීය. එවකට රජයට ලබාදුන් විශේෂඥ උපදෙස්‌ වූයේ විදුලිබල මණ්‌ඩලයේ විදුලි පද්ධතිය යහපත් ලෙස ක්‍රියාත්මක වීම සඳහා ජලවිදුලි බලාගාර සහ ගල් අඟුරු විදුලි බලාගාර ඒකාබද්ධ විය යුතු බවය. ජලවිදුලි බලාගාරවල වියළි කාලවලදී ඇති වන බලශක්‌ති හිඟයට ප්‍රතිකර්මයක්‌ ලෙස සහ වර්ෂා කාලවල ඇතිවන ද්විතීයික බලශක්‌ති උපයෝගි කර ගැනීම සඳහා මෙය නොවරදින පිළියමක්‌ විය. මහවැලි ව්‍යාපාරය යටතේ වික්‌ටෝරියා බලාගාරය සැලසුම් කළේ මෙ. වො. 300 ක ගල් අඟුරු බලාගාරයක්‌ මඟිනි. එතෙක්‌ අපතේ යමින් තිබෙන ද්විතීයික ජලවිදුලි බලය උපයෝගි කර ගනිමින් මෙ. ගා. ඒකක 3000 ක්‌ වූ ශක්‌තිය මෙ. ගා. ඒකක 4200 ක්‌ වැඩි කර ගැනීමටය. (වික්‌ටෝරියා ව්‍යාපෘති උපදේශක වාර්තාව - පිටු අංක 22) කඩිනම් මහවැලිය ක්‍රියාත්මක කිරීමට එවකට ජනාධිපති ධුරය හෙබවූ විදුලි බල හා බලශක්‌ති ඇමැති ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා දැරූ උත්සාහයම ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම පිණිස නොයෙදීම නිසා (වික්‌ටෝරිය) බලාගාරය මෙ. වො. 140 1980 වර්ෂයේ ද 1985 මෙ. වො. 75 වශයෙන් ස්‌ථාපිත විය. මෙහිදී මහවැලි විදුලි බලාගාර පිහිටුවීම සම්බන්ධව ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ උදාර උත්සාහය අවතක්‌සේරු නොකෙරේ) අධික පිරිවැය යටතේ විදුලිබල නිෂ්පාදනය කිරීමේ නැඹුරුව ඇතිවිණි. ආසියානු සංවර්ධන බැංකුව පසු අවස්‌ථාවක මහවැලි සැපයීමට අනුව ඉදිවෙන අවසාන විදුලි බලාගාරය වූ රන්ටැඹේ විදුලි බලාගාරයට ද (1990 මෙ. වො. 49 ස්‌ථාපිත විය) සමනලවැව විදුලි බලාගාරයට ද (1992 මෙ. වො. 120 ස්‌ථාපිත විය.) පෙර ගල් අඟුරු බලාගාරයක්‌ ඉදිකළ යුතු බවට අනතුරු අඟවා තිබුණේ මෙම ජලාශ දෙකම බොහෝ අවස්‌ථාවල ජල හිඟය නිසා ක්‍රියාත්මක කිරීමේ නොහැකියාව වැඩි නිසයි. යෝජනා කළ පරිදි ගල් අඟුරු බලාගාරයක්‌ ඉදිකළා නම් අඩු වියදමකින් ගල් අඟුරු ආනයනය කරගෙන විදුලි ඌණතා කැපීම් අවමකර ගත හැකිව තිබිණි. මීට අමතරව මාවනැල්ලේ සහ ත්‍රිකුණාමලයේ ගල් අඟුරු බලාගාරයක්‌ ඉදිකිරීමට යෝජනා වුවත් දේශපාලන නායකත්වය නිසි පරිදි තීරණ නොගැනීම නිසා එම යෝජනා ද ක්‍රියාත්මක නොවීය. මේ හේතුව නිසා 1996 - 1997 වන විට අනිවාර්යයෙන්ම ඉදිවිය යුතුව තිබූ ගල් අඟුරු බලාගාරය නිසි කලට ස්‌ථාපිත නොවීය. මේ හේතුව නිසා 1997-1998 යුගයේ දී විදුලිය පැය කිහිපයක්‌ කපා අඳුරේ තැබීමට හේතු වූයේ ඒ නිසාය. අපේක්‍ෂා සහගත නොවූ ආකාරයෙන් බලපවත්වන ලද නියඟය මඟින් නිර්මාණය කරන ලද අභියෝගාත්මක තත්ත්වයට මුහුණදීමේ යථාර්ථය ජීවමාන විය. මේ හේතුව නිසා විදුලිබල මණ්‌ඩලය කබලෙන් ලිපට වැටුණේය. විදුලිය කපා රටම අඳුරේ තැබෙන තත්ත්වය හමුවේ ඒ සතු වූ අර්බුදයකට පිළියමක්‌ වශයෙන් රජය ගත් ක්‍රියාමාර්ග වූයේ පෞද්ගලික අංශයෙන් අධික මිල ගණන්වලට මිලදී ගෙන පාරිභෝගිකයන්ට විදුලිය සැපයීමයි. මීට අමතරව අයෝග්‍ය තෙල් විදුලිබලාගාර භාවිත කිරීමට මංපෙත් පෑදුණේය. 1995 - 2005 කාලය තුළ එවැනි විදුලි බලාගාර 11 ක්‌ ඉදිකරන ලද අතර ඉන් 09 ක්‌ ම ලංවීම සැලසුමෙහි නොතිබූ ඒවාය. පෞද්ගලික විදුලි සමාගම් 08 කින් ඉන්ධන භාවිතා කොට විදුලිය නිපදවා ජාතික විදුලි පද්ධතියට අධික මිලකට විකිණීමට කටයුතු කිරීමයි. පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාදාමයේ කැපී පෙනෙන ලක්‍ෂණය වන්නේ එකී සමාගම් හි අකාරුණික දුෂ්කර හා අහිතකර කොන්දේසිවලට වග විභාගයකින් තොරව එවක පාලකයින් එකඟතාව පළ කිරීමය. මෙහි ප්‍රතඵලය වූයේ ඇති ආදායමට වඩා ඉන්ධන ගැනීමත් (දේශීය වෙළඳපොළේ ඩීසල් අවශ්‍යතාවය මෙටි්‍රක්‌ ටොන් 4100 ත් 4300 ත් අතරය. මෙටි්‍රක්‌ ටොන් 1100 ක්‌ ඛනිජ තෙල් සංස්‌ථාව නල මඟින් ලබා දෙන්නේ විදුලිබල මණ්‌ඩලයටයි.) නැති ආදායම (2010 ලං.වි.ම පාඩුව බිලියන 40) සංඛ්‍යාලේඛන මඟින් පෙන්වා හිත හදා ගැනීමටත් විදුලිබල මණ්‌ඩලයට සිදු විය. නොලැබෙන ආදායම වෙනුවෙන් වැය කළ අවසානයේ දී ණය (බිලියන 66) ගනිමින් පෙරළා පොළිය ගෙවමින් ජන ජීවිතයට ආලෝකය දෙන ලංකා විදුලිබල මණ්‌ඩලයේ පාරිභෝගිකයෝ අපි වූවෙමු. (2010 විදුලි බල මණ්‌ඩලයේ අපේක්‍ෂිත වියදම් බිලියන 160 යි. ආදායම බිලියන 120 යි. පාඩුව බිලියන 40 යි) 75% ක්‌ ම වැය වෙන්නේ (බිලියන 90) පෞද්ගලික සමාගම්වලට ගෙවීමටයි. මෙසේ වන පාඩුව නිසා සෑම ලාංකිකයෙකුට ම රු. 2000 ක්‌ බැගින් ගෙවීමට සිදුවන බව ඔබ දන්නවා ද? දිවයිනේ මහා පරිමාණයේ විදුලි යෝජනා ක්‍රම ඇරඹිය හැකි ජල සම්පත් 60% ටත් වඩා ඇත්තේ මහවැලි ගඟ ආශ්‍රිතවය. කැලණි ගඟ ආශ්‍රිතවද ඉදිකළ හැකි විදුලි බලාගාර ද 95% ට වඩා නිමකර ඇත. ඒ අනුව අප රටේ ප්‍රධාන මට්‌ටමේ බලාගාර උපරියට ඒ අශ්‍රිතවම ඉදිකර තිබේ. මධ්‍යම පරිමාණ විදුලි බලාගාර ලෙස හඳුනාගෙන ඇති කැලණි ගඟ ආශ්‍රිත බ්‍රෝඩ්ලන් බලාගාරය ද නිල්වලා ගඟ, ගිං ගඟ, මොරගොල්ල, උමා ඔය ආදි ගංගාවන්හි ඉදිරියේ දී බලාගාර ඉදිකිරීමට නියමිතය. එහෙත් වාර්ෂිකව ඉහළ යන විදුලි ඉල්ලුමට සාපේක්‍ෂව ජනන හැකියාවක්‌ නිර්මාණය කළ නොහැක. කුඩා විදුලි බල ව්‍යාපෘති 90 ක්‌ පමණ දැන් ක්‍රියාත්මකය. ඉන් මෙගා. වො. 200 ක්‌ පමණ ලැබේ. මීට අමතරව වතු ආශ්‍රිතව ඉතා කුඩා ජල ව්‍යාපෘති 40 ක්‌ පමණ ගණන් බලා ඇත. එහි ධාරිතාව මෙ. වො. 1 ට වැඩි නොවේ. ජල විදුලිය පැත්තෙන් ඊට වඩා බලාපොරොත්තු තැබිය නොහැක. ලංකා විදුලිබල මණ්‌ඩලයේ තක්‌සේරුවට අනුව ඉදිරි 20 අවුරුද්ද තුළ ශ්‍රී ලංකාවේ විදුලිබල ඉල්ලුම් 7% - 10% ප්‍රමාණයෙන් ඉහළ යනු ඇත. ඒ අනුව සෑම වසර 10 කට වරක්‌ වත් ඉල්ලුම තෙගුණ වෙයි. මෙම වැඩිවන ඉල්ලුමට ප්‍රමාණවත් ලෙස ඔරොත්තු දෙන මිලකට (වර්තමානයේ මිල පාලනය කරන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි) විදුලි සැපයුම ඉහළ නැංවීම රජයේ වගකීම සහ යුතුකමයි. 2020 වන විට ඛනිජ තෙල් විදුලි බලාගාර වලින් මෙ. වො. 935 ක්‌ද කොත්මලේ මෙ. වො. 150 ක්‌ ද ගල් අඟුරු තාප බලාගාර වලින් මෙ. වො. 3300 ක්‌ද අළුතින් විදුලි පද්ධතියට එකතු විය යුතුය. මුල් කාලයේ දී ඉතා ලාභදායී ලෙස තිබූ ඛනිජ තෙල් මිල පසුව ඇති වූ ලෝක අර්බුද හමුවේ වරින් වර කම්පනයට භාජන වූ නිසා ඊට පිළියමක්‌ ලෙස අඩු මුදලකට මිලදී ගත හැකි බලශක්‌ති සම්භවයක්‌ ලෙස ගල් අඟුරු හඳුනාගත්තේය. මෙම බලශක්‌තිය ද ඛනිජ තෙල් ද නුදුරු අනාගතයේදී භාවිත කළ හැක්‌කේ උපරිම වශයෙන් ක්‍රි. ව. 2200 දක්‌වා බව විශේෂඥ මතයයි. ඒ අනුව ක්‍රි. ව. 2200 වන විට ලෝකයේ විදුලි පරිභෝජන රටාවේ පූර්ණ වෙනසක්‌ දැකිය හැකි වනු ඇත. ත්‍රිකුණාමලය සාම්පූර් ගල් අඟුරු බලාගාරය නිර්මාණය කළ පසු ගල් අඟුරු සංකල්පයෙන් ඉවත් වීම අපට වඩාත් හිතකරය (ගල් අඟුරු මිලද ක්‍රමයෙන් ඉහළ යයි. පාරිසරික ප්‍රශ්න ද ඇති වේ.) තෙල් අවසන් වෙමින් පවතින නිසා ලෝකය වර්තමානයේ දී මුහුණ දී ඇති බලශක්‌ති අර්බුදය ජනතාවගෙන් වසන් කළ නොහැක. කවුරු බලයේ සිටියත් මෙම අර්බුදයට මුහුණ දීමට සිදු වේ. ඒ වෙනුවට වෙනත් විකල්ප බල ශක්‌ති හඳුනාගෙන අනාගතයේදී නිසැකවම ඇතිවන අර්බුදයට මුහුණදීමට අවශ්‍ය නව මං සෙවීමට කාලය එළඹ ඇත. අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටක විකල්ප බලශක්‌තීන් සෙවීම හා උපයෝගී කරගැනීම ඉතා විමසිල්ලෙන් යුතුව කළ යුතුය. දියුණු රටවලට උචිත බලශක්‌තීන් අන්ධානුකරණයෙන් අප පිට පටවා ගැනීම නොකළ යුත්තකි. අපට ඔරොත්තු දෙන අප වටා බහුලව ඇති බලශක්‌ති ප්‍රභව ගැන අප උනන්දු විය යුතුය. එහෙයින් බලන කල සූර්ය බල ශක්‌තිය. සුළං බලය, සාගර රළ, භූගත බලශක්‌තිය හා ජීව වායුව උපයෝගී කරගන්නා බලශක්‌තිය. ෙඩ්‍රන්ෙඩ්‍ර` තාක්‌ෂණය වැදගත් වේ. න්‍යෂ්ටික බලාගාර අපට කොතෙක්‌ ඔරොත්තු දේ දැයි දෙවරක්‌ සිතා බැලිය යුත්තේ ඒ සඳහා අවශ්‍ය න්‍යෂ්ටික ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනත් බලවත් රටවලට ගැති වීමටත් ඒ සඳහා අධික මූලික පිරිවැයක්‌ යෙදීමටත්, බොහෝවිට හානිකර අනතුරුවලට ඉඩ තිබීමත් නිසාය. මහ බැංකුව විසින් පෙන්වා දෙන නැනෝ තාක්‌ෂණය සම්බන්ධව අත්හදා බැලීමක්‌ කරන්නේ නම් වැදගත්ය. එහෙයින් ඉදිරියේ දී නිසැකයෙන්ම මුහුණ දීමට සිදුවන මෙම බලශක්‌ති අර්බුදයට සාර්ථකව මුහුණපෑමට නම් ගත යුතු පියවර පිළිබඳව ද අපගේ පූර්ණ අවධානය යොමු විය යුතුය. මෙම තත්ත්වය මඟහැරීම සඳහා පළමු කොට අප කළ යුත්තේ ඉහත සඳහන් කර ඇති පරිදි දැනට අප සතුව තිබෙන බලශක්‌තිය හැකි තරම් සකසුරුවමින් යුතුව පරිහරණය කිරීමයි. රටේ නිෂ්පාදනය කරන විදුලියෙන් 14% ක්‌ සම්ප්‍රේෂණයේ දී පද්ධතිවල දෝෂ නිසා අපතේ යයි. දල ගණන් බැලීම අනුව මෙසේ අපතේ යන විදුලි ප්‍රමාණය මෙ වො. 150 කි. එය විදුලි බලාගාරයක නිෂ්පාදනය කෙරෙන විදුලිය ප්‍රමාණයට සමානය. ලංකා විදුලිබල මණ්‌ඩලයේ නිලධාරීන් මෙම අපතේ යැම කඩිනමින් අඩු කරගැනීම සඳහා අවශ්‍ය පිළියම් ගත යුතුය. පෞද්ගලික නිවාස වල විදුලිය මඟින් කරන ඉවුම් පිහුම් අත්‍යවශ්‍ය නොවන සෑම කාර්යයක්‌ම බොහෝදුරට සීමා කර ගත යුතු වේ. අප සැමදා කියන සකසුරුවම හා සරල චාම් දිවි පෙවෙත මෙම ප්‍රශ්නයට විසඳුම් සපයයි. එහි ඕනෑකම. වැදගත්කම ජාතියේ හදවතට කිඳා නොබසින්නේ නම් වඩ වඩා සුඛෝපභෝගී වීමට යත්න දරන්නේ නම් එම වරදට වන්දි ගෙවන්නට අප අනාගත පරපුරට සිදු වනු ඇත.

No comments:

Post a Comment