ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා අල්ලන්න අන්තර්ජාතික රතු නිවේදනයක්



එල්. ටී. ටී. ඊ. සංවිධානය මෙරටේ යළි ගොඩනැඟීමට කටයුතු කරන බවට චෝදනා ලැබ ඇති එම සංවිධානයේ හිටපු නායකයකු වන පෙරින්පනායගම් සිවපාරන් හෙවත් නෙදියවන් අත්අඩංගුවට ගැනීමට අන්තර්ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) රතු නිවේදන නිකුත් කර ඇත. එල්. ටී. ටී. ඊ. සංවිධානය පැවැති සමයේ එහි අන්තර්ජාතික මූල්‍ය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නෙදියවන් අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා රජය මීට පෙර ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙනුවෙන් නෙදර්ලන්තයේ දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් එකතු කිරීමේ චෝදනාව මත ඔස්ලෝ නුවරදී 2011 වර්ෂයේදී නෙදියවන් අත්අඩංගුවට ගැනුණු අතර, පසුව ඔහු කොන්දේසි සහිතව නිදහස් කෙරුණි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව නෙදියවන් එරට පොලිසිය වෙත ඉදිරිපත් වී නැති බවද වාර්තා වෙයි.
නෙදියවන් පිළිබඳ විස්තර ඇතුළත් ඡායාරූපද අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
එසේම නෙදියවන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන ඉදිරිපත් කරන ලෙසට කළ ඉල්ලීම පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් මෝර්ටන් හොග්ලන්ඩ් පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබිණි.
එල්. ටී. ටී. ඊ. සංවිධානයට මුදල් සපයන එම සංවිධානයට ක්‍රියාකාරිකයන් 400 දෙනකුගේ නාම ලේඛනයක්ද මෙරට රජය පසුගිය මාසයේදී ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබිණි.

No comments:

Post a Comment