2012 ලෝක විනාශය සන්නිවේදනයේ නිර්මාණයක්ද ?

එදින වෙනදා මෙන් ම හොඳින් හිරු පෑයූ දිනයකි. සොබාදහමේ පැහැයෙන් මුළු ලොවම බබළමින් තිබේ. මිනිස් වර්ගයා ද තම එදිනෙදා වැඩකටයුතුවල සාමාන්‍ය අන්දමින් නිරත වෙමින් සිටිති. එහෙත් එක් වරම සිදුවන්නේ මහා විපතකි. එමෙන් ම එය අදහා ගත නොහැකි තරම් ය. මහ පොළව ගුගුරා කඩා හැලේ. එහි අඩුව පිරවීමට මෙන් සුනාමි ලෙස වියරු වැටුණු මහා සාගරය ගොඩබිමට ගලා එයි. පණ බේරා ගැනීමට එහා මෙහා දිව යන මිනිස්සු පවසන්නේ මේ ලෝක විනාශය බවයි. දිනය 2012 දෙසැම්බර් මස 21 වැනිදා ය. තිරය දෙස බලා සිටි මට සිතුණේ මේ මොන විකාරයක් ද යන්නයි. මිනිසුන් බය කරන්නට මේ තරම් දේවල් කළ යුතු නැත. අනෙක් අතට පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණ මෙන් ම ස්වභාවික විපත් කැටි කොට ගනිමින් නිපදවුණ හොඳ සිනමා පට අපි රස විඳ ඇත්තෙමු. 2012 සිනමා පටය ප්‍රේක්ෂක ආකර්ශණයට ලක් වූයේ විශේෂයෙන් ම ඒ සඳහා ලබා දුන් ප්‍රචාරණය හේතුවෙනි. සිනමා පටය සිනමාහල් කරා ඒමට මාස 3 කට පමණ පෙර අතීතයේ විසූ මායාවරුන් ගේ දින දසුනකට අනුව 2012 දී ලෝක විනාශය සිදුවන බව පැවසෙන විද්‍යුත් තැපැල් පත් බොහෝ විද්‍යුත් ලිපින වෙත ලැබී තිබුණි. මා වෙත ලැබුණ මෙම විද්‍යුත් තැපැල් පත කියවා බැලූ මට වැටහී ගියේ එය තවත් එක් විහිළුවක් බවයි. එහෙත් එය බොහෝ දෙනා අතර සාකච්ඡාවට බඳුන් වී තිබිණි. ඉන් පසුව පැමිණියේ සිනමා පටයයි. බටහිරට සමගාමීව ශ්‍රී ලංකාවේ ද ප්‍රදර්ශනය වූ 2012 නම් වූ මෙම සිනමා පටය විශාල ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් විය. එහෙත් අර්බුදය මතු වන්නේ ඉන්පසුව ය. 2012 වසරේදී ලෝක විනාශයක් වීමට බොහෝ ඉඩකඩ ඇති බවත් ස්වභාවික ව්‍යසනයක් මේ පෙන්නුම් කරන්නේ එහි පෙරමග ලකුණු බවත් යනුවෙන් පැවසෙන මතවාද සමාජය පුරා විසිරී පැතිරී යන්නට විය. මෙය බොහෝ ජනමාධ්‍යයන්හි ද සාකච්ඡාවට බඳුන් විය. ඒ සමගම අයිස්ලන්තයේ ගිනිකන්දක් පුපුරා ගිය අතර ඒ සමඟ නැඟුණු දූලි අළු වළාවෙන් යුරෝපයේ ගුවන් ගමන් අඩාල විය. ලෝකයේ ප්‍රදේශ කිහිපයකින් ම භූමි කම්පා සහ ජල ගැලීම් ද වාර්තා වූයේ ය. බොහෝ දෙනා මේ සියල්ල දුටුවේ 2012 දී සිදුවන ලෝක විනාශයේ මුල් අධියර ලෙසිනි. ඒ සමඟම පැවසෙන්නට වූයේ ලෝකය පුරා ස්වභාවික විපත් වල කිසියම් වර්ධනයක් සිදුවී ඇති බවයි. සැබවින් ම මෙම තොරතුරුවල සත්‍යතාවක් තිබේ ද? විමසා බැලිය යුත්තේ එයයි. ජනතාව අතර පැතිර යන මතය පරිද්දෙන් ම ස්වභාවික විපත්වල කිසියම් වර්ධනයක් සිදුවෙමින් පවතී ද? අයිස්ලන්තයේ එජාෆ්ජාල්ලාජෝකුල් ගිනිකන්ද පුපුරා යාම ආරම්භ වූයේ අප්‍රේල් මාසයේ මුල් කාලයේදී ය. ඒ සමඟ ම අප්‍රිකාවේ නැඟෙනහිර ඉවුරට සමීපයේ පවතින එන්ගොරොන්ගෝරෝ ගිනි කන්ද ද පුපුරා ගියේ ය. එහෙත් එහි විදාරණය එජාෆ්ජාල්ලාජෝකුල් හි විදාරණය තරම් ලෝක අවධානයට පාත්‍ර වූයේ නැත. ඊට හේතුව වූයේ එම ගිනි කන්දේ විදාරණය එජාෆ්ජාල්ලාජෝකුල් මෙන් නොව මිනිසාගේ එදිනෙදා ජීවිතයට අවම හානියක් ගෙන දීමයි. අයිස්ලන්තයේ ගිනිකන්ද යුරෝපයේ ජන ජීවිතය අඩාල කළ අතර එබැවින් ම එය ජනමාධ්‍යයන්ගේ ද ප්‍රබල අවධානයට ලක් විය. ගිනිකඳු පුපුරා යාමේ වර්ධනයක් සිදුවී ඇති බවක් ද කියවෙන්නට විය. එහෙත් තොරතුරු සොයා බලන විට පෙනී යන්නේ එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. අයිස්ලන්තයේ පමණක් ඇති ගිනි කඳු සංඛ්‍යාව 42 කි. මෙහි ගිනි කඳු 42 ම වරින් වර සක්‍රිය වෙමින් අක්‍රිය වෙමින් පවතී. මෙවර සක්‍රිය වූ එජාෆ්ජාල්ලාජෝකුල් ගිනිකන්ද අසල ඇති වඩා ප්‍රබලත්වයෙන් සහ විශාලත්වයෙන් වැඩි කැට්ලා ගිනිකන්ද ඒ සමඟම විදාරණය වනු ඇති බවට මතයක් එකළ ප්‍රකාශ විය. මීට පෙර මේ ගිනි කඳු දෙකම බොහෝ දුරට එකවර සක්‍රීය වූ බවට ද වාර්තා පැවතුනි. එමෙන් ම කැට්ලා ගිනි කන්දේ නිවුන් සහෝදරිය ලෙස හඳුන්වන හෙක්ලා ගිනිකන්ද ද ඒ සමඟ විදාරණය වීමට ඉඩකඩ පවතින බව ක් ද ප්‍රකාශ විය. එහෙත් ඒ ප්‍රකාශ නිශ්ප්‍රභ කරමින් කැට්ලා හෝ හෙක්ලා විදාරණය වූයේ නැත. අයිස්ලන්තය පමණක් උදාහරණ වශයෙන් ගෙන විමසා බලන විට පෙනී යන්නේ පසුගිය වසරේ මෙන් ම අදින් වසර 500 කට ඉහත අතීතයේදී ද ගිනිකඳු පිපිරීම වාර්තා වී ඇති බවයි. එහෙත් ඒ තත්ත්වයෙ කිසිදු අඩුවීමක් හෝ වැඩි වීමක් සිදුවී ඇති බවක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට පසුගිය 05 වැනිදා උදෑසන දහය වන විට ලොව පුරා සිදුවූ භූමි කම්පාවල විස්තරයක් මෙලෙස දැක්විය හැකි ය. එම දිනයෙන් සම්පූර්ණ වූ ගත වූ සතියේ පමණක් සිදුවී ඇති භූමි කම්පා සංඛ්‍යාව 320 ක් විය. ගත වූ පැය 24 තුළ භූමි කම්පා 11 ක් සිදු වී ඇතැයි වාර්තා වී තිබූ අතර මාර්තු පස් වැනි බදාදා උදේ 9.00 - 10.00 අතර කාලයේදී එක් භූමි කම්පාවක් වාර්තා වී තිබුණි. චිලී දේශයේ වල්පරයිසෝ නගරය ආශ්‍රිතව වාර්තා වී තිබූ එහි ප්‍රබලත්වනය රික්තර් මාපක 4.8 ක් විය. මේ තොරතුරු අනුව පැහැදිලි වන්නේ ගත වන සෑම පැයකදීම හෝ ඊට ආසන්න කාලයකදී ලෝකයේ කිනම් හෝ භූ තැටියක් චලනයට ලක් වන බවයි. එහෙත් මේ දත්තය මේ වනවිට භූමි කම්පාවල වැඩි වීමක් හෝ අඩු වීමක් සිදුවී ඇති බව පවසන්නේ නැත. ඒ අනුව මෙම තොරතුරු විමසා බැලීමෙන් සාක්ෂාත් කර ගත යුතු වැදගත්ම කරුණ නම් පෘථිවියේ භූමි කම්පාවල වැඩිවීමක් සිදුවී ඇතැයි යන මිත්‍යා මතයෙන් බැහැරවීමයි. ගෙවී ගිය සියවසේ එනම් 1900 සිට 1999 දක්වා පෘථිවිය මත එක් මිනිසකු හෝ මරණයට පත් කරමින් සිදුවී ඇති භූමි කම්පා සංඛ්‍යාව 1307 කි. අවධානයට ගත යුතු කරුණ වන්නේ මෙම සංඛ්‍යාව ගත වූ සියවසේ සිදුවූ සමස්ත භූමි කම්පා සංඛ්‍යාව නොවන බවයි. ඒ අතුරින් 1900 සිට 1909 දක්වා වන දශකය තුළ සිදුවී එක් පුද්ගලයකු හෝ මරණයට පත් කළ භූමි කම්පා සංඛ්‍යාව 49 කි. 2000 සිට 2009 දක්වා දශකයේදී මේ සංඛ්‍යාව 219 ක් වේ. එහෙත් 1990 සිට 1999 දක්වා වන වසර දහයේදී මේ සංඛ්‍යාව 239 ක් ලෙස දැක්වේ. මෙම දත්ත දෙස මතුපිටින් බලන අයකු මෙම දශකය ආරම්භයේදී නම් කම්පාවල අඩුවීමක් වාර්තා වී ඇතැයි පැවසිය හැකි ය. එහෙත් එවන් අදහසකට පැමිණීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් වේ. ඉන් පළමුවැන්න නම් ගත වූ සියවස ආරම්භයේදී පෘථිවිය මත විසූ ජනගහනයයි. එදිනට සාපේක්ෂව මේ වනවිට ජනගහනයේ අති ශීඝ්‍ර වර්ධනයක් සිදුවී ඇති බව සැවොම දන්නා කරුණකි. එමෙන් ම මේ භූමි කම්පා ගණනය කොට ඇත්තේ ‘එක් පුද්ගලයකු හෝ මිය ගිය’ යන නිර්ණායකයට අදාළව ය. එබැවින් සියවසේ ආරම්භක දශකයේ දී පුද්ගල මරණ සිදුවූ භූමි කම්පාවල අඩුවීමක් තිබී ඇත. දෙවනුව සියවස අවසාන වන විට විද්‍යා හා තාක්ෂණ අංශ ලබා තිබූ ප්‍රගතිය සැලකිල්ලට ගත යුතු ය. මේ හේතුවෙන් දත්ත වාර්තා වීම සියවස ආරම්භයට වඩා සියවස අවසානයේදී වඩා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන්නට ඇත. මෙවැනි හේතු සාධක මගින් පෙනී යන්නේ භූමි කම්පා හෝ ගිනි කඳු වැනි ස්වභාවික විපත්වල වැඩිවීමක් පවතින බවට නිගමනයකට එලඹීමට නොහැකි බවයි. එහෙත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ම සිදුවන දෙයක් වන අතර එහි අතුරු ප්‍රතිඵල රාශියකි. ධ්‍රැව කලාපවල අයිස් දිය වීම ඒ අතුරින් ප්‍රධානය. අවාසනාවන්ත ලෙස ගෝලීය උණුසුමේ ඉහළ යාම දිනෙන් දින වර්ධනය වන තත්ත්වයක් බව පැවසිය යුතු ය. ඒ අනුව ගෝලීය උණුසුම ඉහළ යාම හා බැඳුණු සෙසු අතුරු ප්‍රතිඵලයන්ගේ බලපෑම ද වර්ධන වන බව නිශ්චිතය. එමෙන් ම මේ තත්ත්වයන් යටතේ ජනමාධ්‍යයන්ගේ භූමිකාව කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. සාමාන්‍යයෙන් සිදුවන ඕනෑම සිදුවීමක තත්ත්වය අවම කර පෙන්වීමට ද උපරිම කර පෙන්වීමට ද හැකියාවක් ජනමාධ්‍ය සතු ය. එමෙන් ම ජනමාධ්‍ය ආකර්ශනය වන්නේ තමා වෙත පාඨකයා, ශ්‍රාවකයා හෝ ප්‍රේක්ෂකයා ආකර්ශනය කර ගත හැකි දේ වෙත ය. මිනිස් වර්ගයා ස්වභාවයෙන් ම තම පැවැත්ම තීරණය කරන දේ සම්බන්ධව සංවේදී වෙයි. එබැවින් ම ස්වභාවික ව්‍යසන, පෘථිවියේ අනාගතය හෝ ලෝක විනාශය වැනි මාතෘකා ජනමාධ්‍ය වෙත ග්‍රාහකයා බෙහෙවින් ආකර්ෂණය කරන්නේ වෙයි. මේ තත්ත්වය යටතේ ස්වභාවික විපත් වාර්තා වීම වැඩි වන අතරම ව්‍යසනයන්ගේ ව්‍යසනකාරී බව වාර්තාවීම ද වැඩිවේ. මේ සිදුවීම් දාමයේ අවසාන ප්‍රතිඵලය වන්නේ ලෝක අවසානය අත ළඟ බවත්, මිනිස් වර්ගයා මේ ගෙවා දමන්නේ පෘථිවිය මත වෙසෙන අවසන් වර්ෂ කිහිපය බවත් යනාදී වශයෙන් අසත්‍ය එහෙත් ආකර්ෂණීය මත ජනතාව අතර පැතිර යාමය. එපමණක් ද නොව ජනතාව අතර මෙවන් මත ප්‍රචාරය කරමින්, ඔවුන් බිය වද්දමින් තම නිර්මාණය විකුණා ගැනීමට ශූර චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සමත් වීම ය.

No comments:

Post a Comment